රුසියාවේ Aeroflot ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි..

by Staff writer 04-06-2022 | 11:10 AM

COLOMBO (News 1st) – රුසියානු ගුවන් යානයක් රඳවා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් බවට පත්වන ලකුණු පහළ වෙමින් තිබේ.

රුසියානු Aeroflot ගුවන් සේවය කොළඹ වෙත පියාසර කරන සිය වාණිජ ගුවන් ගමන් අත්හිටුවා ඇත. ශ්‍රී ලංකාවට තම යානා බාධවකින් තොරව පියාසර කිරීම සහතික කිරීම සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එම සමාගම සඳහන් කළේ ය. කොළඹ බලා පියාසර කරන යානාවල ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවිය ද තාවකාලිකව නතර කර තිබේ. ශ්‍රී ලංකා බලධාරීන් විසින් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව ශ්‍රී ලංකා තානාපතිනිය රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා සිය අප්‍රසාදය පළ කර ඇත. රුසියානු ස්පුට්නික් ප්‍රවෘත්ති සේවය පැවසුවේ, ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා ලියනගේ මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා රුසියාව එම විරෝධය දක්වා ඇති බවයි. රුසියානු Aeroflot ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ, පසුගිය 02 වැනි දායි. මේ අතර රුසියානු Aeroflot ගුවන් යානයට මෙරටින් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණයට අදාළ නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේ දි මෝසමක් මගින් ඊයේ කැඳවනු ලැබුවේ ය. එහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා පැමිණිලි කර සිටියේ අධිකරණ විසින් වාරණ නියෝග නිකුත් කිරීමෙන් පසුව අධිකරණයේ පිස්කල්වරයා ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් අදාළ ගුවන් යානයේ ගමන අත්හිටුවන ලෙස දන්වා තර්ජනය කර තිබෙන බවයි. එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ, දෙවන විත්තිකරු වශයෙන් නම් කර සිටින කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ගමන් පාලකවරයා වෙත කිසිදු වාරණ නියෝගයක් අධිකරණය නිකුත් කර නොමැති බවය. කෙසේ වෙතත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළෙන් පිටවීම තහනම් කිරීම හේතුවෙන් ඉන් මොස්කව් බලා පිටත්වීමට සිටි මගීන් 191 දෙනෙකු හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 13 දෙනෙකු හෝටල්වලට යොමු කිරීමට පියවර ගැනිණි. පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ රඳවාගෙන තිබෙන රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීම මෙරට බලධාරීන් කටයුතු කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, දෙරට අතර ආර්ථික වශයෙන් ද විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා ක්‍රියා කළ යුතු බවයි.